දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  එළවලු අලෙවියට හෙට සිට බාධාවක් නෑ


 


 
(කාංචන කුමාර ආරියදාස)
 
බස්නාහිර පළාතේ ඇති සියලුම එළවළු අලෙවි කරන මධ්‍යස්ථාන හෙට( 3) දින සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගැසී ඇති එළවළු සියල්ල අලෙවි වීමට බාධාවක් නොවන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ පැවසීය.

ගොවීන් විසින් රැගෙන ආ එළවළු කිලෝ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි නොවී ගොඩගැසී ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රජය නියෝජනය කරමින් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේ ය,

ඒ මහතා  ගොවීන් සමග සහ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කළ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි කර ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති එළවළු තොග ද නිරීක්ෂණයට ලක් කළේය.

පසුව රජයේ ඉහළ නිලධාරීන් සමග  දුරකථනය හරහා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ  බස්නාහිර පළාතේ ආර්ථික  මධ්‍යස්ථාන තොග වෙළෙඳ මධ්‍යස්ථාන සියල්ල 03 දින විවෘත කිරීමට  රජය තීරණය කර ඇති නිසා දඹුල්ලේ ගොඩගැසී ඇති එළවළු එම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමට හැකිවන බවය කිසිසේත් රජය ගොවියාට අසාධාරණයක් සිදු වන්නට ඉඩ නොතබන බව ද ඒ මහතා අවධාරණය කළේය.